Saturday, December 15, 2007

අතීතයට ආශාවීම හා වර්ථමානයට බැනවැදීම

“වූස්” කැන්ටීමේ පෝස්ටරය, “පටු අදහස්’’ ගිතය හා කිතුණු මනස.

තාප්පයක් මත හෝ දැන්වීම් පුවරුවක් මත ඇළවෙන පෝස්ටරයක ආයු කාලය ඉතා කෙටිය. සමහර විට එය විනාඩි කිහිපයකට සීමා විය හැක. මන්ද ඇළවූ ‍පෝස්ටරයක් වැසී යන සේ පාප්ප අතුරා තවත් අළුත් පෝස්ටරයක් ඇලවීමට ගතවන කාලය සමහර විට පැය භාගයටත් අඩු විය හැක. එය ඉතා සමාන්‍ය කරුණකි. එය ආචාර්ය ධර්ම කඩකිරීමක් ලෙස සැලකෙන්නේ නැත. නමුත් සමහර විට මුල් පෝස්ටරය ඇල වූ පාර්ශවයේ ඇති බල පුළුවන්කාරනම් නිසා මේ තත්වය වෙනස් විය හැක. ඒ කෙසේ නමුත් වසර පහළවකට වැඩි කාලයක් විරාජමානව වැජඹෙන පෝස්ටරයක් ඇත්නම් එය සුවිශේෂ කාරණයකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ‘වූස්’ ආපන ශාලවේ දැන්වීම් පුවරුවක ඇති පෝස්ටරයක් අලවා ඇත්තේ 1993 පෙබරවාරි 25 වෙනිදාය. විශ්ව විද්‍යාල පරිසරයේ දක්නට ඇති පුන් කළසක්., කැටයම් කළ පහන් කණුවක් සහිත පරිසරයක වාඩි වී කල්පනාවක නිග්ම විශ්වවිද්‍යාල සිසුවකු ගේ රුව සහිත පසුබිමක ලියා ඇති නිසදැස් කවියෙහි පද අමුණා ඇත්තේ මෙලෙසය.
“යෞවනය මරණයට
හිමි කමක් වූ බිමක
සිප් සතද තූරැළු කොට
හිස්ම හිස් වා ගැබේ
ඈත ඉම නෙතු යොමා
සිතු විමන වෙහෙස වන
පිය සබඳ
බලාපන් නෙතු අයා
පරපුරෙන් පරපුරට
හද ගැහෙන රිද්මය
නොවෙද මේ”
1993 පෙබරවාරි මස අවසන් දිනක මෙවැන්නක් ලියවීමට හේතු වූ ඓතිහාසික පසුබිම කුමක් ද? 89 වසරේ භීෂණයෙන් පසු විශ්ව විද්‍යාල නැවත විවෘත වන්නේ පැහැදිලිවම වෙනස් වූ පසුබිමක් තුළය. භීෂණයට ප්‍රථම විශ්ව විද්‍යාල තුළ පොදු මාතෘකා වූ විප්ලවය, දේශ ප්‍රේමය, දුප්පත් කම, යුක්තිය සාධාරණත්වය වැනි මාතෘකා භීෂණයෙන් පසුව නැවත විවෘත වූ ව්ශ්ව විද්‍යාල පද්ධතිය තුළ කථා නොකෙරෙන ප්‍රශ්ණ නොකෙරෙන මාතෘකා බවට පත් විය. සෑම සිසුවකුගේම අභිප්‍රාය වූයේ කෙසේ හෝ තම අධ්‍යයන කටයුතු නිමවා විශ්ව විද්‍යාලයෙන් පිටව යාමය. මෙම පසුබිම තුළ විශ්ව විද්‍යාල තුළ ශිෂ්‍ය දේශපාලනය අක්‍රිය විය. මාස තුනක් පමන කෙටි කලක් තුළ ඝාතනය වූ 60,000 ක් තරැණ ජීවිත අතරට එක්වූ තම සොයුරු සොයුරියන් (බැචාලා බැචීලා) ගැන මතකය ඔවුනට ඉක්මනින් අමතක වීය. මෙම තත්වය තුල තමා කල් ගෙවන විශ්ව විද්‍යාල පරිසරය සොඳුරු බිමක් නොව යෞවනය මරණයට හිමි කමක් වූ බිමක් බව නැවත සිතීමට මෙම පෝස්ටරයෙන් අපට බල කරන අතර එයට සුදුසු ප්‍රතිචාරයක් පාඨකයාගෙන් බළාපොරොත්තු වීම මෙය නිර්මාණය කළ අයගේ අපේක්ෂාව බව නොඅනුමානය.
පසුගියදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කිතුණු ශිෂ්‍ය සහෝදරත්වයේ සිසුන් ‘කිතුණු මනස’ නම් තේමාව යටතේ කඳවුරක් සංවිධානය කළේය. එහිදී ආදර්ශ අධ්‍යයනයක් සේ සළකා ඉහත නිසදැසත් මැතක දී නොයෙලීන් ප්‍රින්ස් සොහොයුරිය විසින් අප කිහිප දෙනකු ගේ අවධානයට යොමු කළ අමරදේවගේ “පටු අදහස්” නම් ගීතයත් දෙස කිතුණු මනසකින් බැලීමට අප උත්සාහ කළෙමු. එහිදී සාකච්චා වූ කරුණු සැකෙවින් ගෙන හැර දැක්වීම මෙම ලිපියේ අරමුණයි. ඊට ප්‍රථමව පටු අදහස් ගීතයත් එයට පසුබිම් වුනා යයි සිතිය හැකි කාරණාත් මෙලෙස සඳහන් කරමු.
“පටු අදහස් නම් පවුරෙන් ලෝකය කැබලි වලට නොබෙදී ඥාණය නිවහල් වී බියෙන් තොරව හිස කෙළින් තබා ගෙන සිටිනට හැකි කොහිදෝ ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
සත්‍ය පතුලෙන් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතර‍ට වැදිලා නිර්මල ජල ධාරාව තර්කයේ සිඳී බිඳී නොබිදේ ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
පසු නොබසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා සදා දියුණු වන සිතිවිලි උදෙසා කම් කටයුතු උදෙසා ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතනකදෝ ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ”

මහගමසේකර විසින් රවීන්ද්‍රනාත් තාගෝර් ගේ කවියක් ඇසුරෙන් රච්ත මේ ගීතය සංගීතවත් කර ගායනා කරනු ලබන්නේ අමරදේව විසිනි. ගීතයට පාදක වූ කවිය තාගෝර්ගේ ‘ගීතාංජලී’ නම් කවි පොතෙන් අපට කියවිය හැක. මෙම කවි සංග්‍රහය මුලින්ම තම මව් බස වන වංග බසින් රචනා කල තාගෝර් එය තමා විසින්ම පසුව ඉංග්‍රිසි බසට පරිවර්ථනය ක‍‍ළේය. මෙම ඉංග්‍රීසි පරිවර්තනය සඳහා තාගෝර්ට සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය හිමිවිය. ‘ගීතංජලී’ රචනා වූයේ ඉන්දියාවේ නිදහස් සටන දියත් වූ කාළයේදීය. ඉංදියානු‍වෙකු ලෙස තාගෝර් තම රට ගැන තමාගේ සිහිනය මෙලෙස අලංකාර හා ප්‍රබල කාව්‍යයක් සේ සනිටුහන් කළ බවට සැක නැත. තම රට ඉංග්‍රීසින්ගෙන් නිදහස් කර ගැනීම පමණක් නොව තම රටේ අභ්‍යන්තර අර්බුද හා පටු ආකල්ප හා සිරිත් විරිත් වලින් මිදී සිතිවිලි හා ක්‍රියාකාරකම් වලින් දියුණු ජාතියක් වනවා දැක්ම ඔහුගේ ප්‍රාර්ථනය වී ඇත. මහගමසේකර ගේ හා අමරදේව ගේ දායකත්වයෙන් බිහි වූ සිංහල ගීතයද සිංහල ගීත ක්ෂේත්‍රයට බිහි වූ රමණීය නිර්මාණයක් බව පැවසිය හැකිය.
ඉහත කඳවුරේදී අප බයිබලයේ ප්‍රධාන තේමාවන් වන මැවීම, පාපයට වැටීම, ගැලවීම, හා දෙවියන්වහන්සේගේ පූර්ණ ජයග්‍රහනය යන රාමුව තුල සියල්ල දෙස බැලීමට අපි උත්සාහ කළෙමු. එබැවින් ඉහත පෝස්ටරය හා ගීතය ආදර්ශ අධ්‍යයනයක් සේ විමසා බැලීය.
ප්‍රථම කොට අප පෝස්ටරයේ නිසදැස් කවිය සළකා බලමු. මෙහිදී කවියා අවට පරිසරයේ අලංකාරය දැකීමට අපොහොසත් වී ඇත. ඔහු දකින්නේ හිස්ම හිස් වා ගැබ පමණි. මෙහි දී අපට සිහියට නැගෙන්නේ මැවීමේ කථාන්දරයට ප්‍රථමව පැවති ස්වභාවය විස්තර කෙරෙන බයිබල් පාඨයයි. “පොළව වනාහි පාළුව හිස්ව තිබුණය,” (උත්පත්ති 1 : 2අ ). නමුත් මැවීමේ කථාවේ දී සෑම දිනක් අවසානයේදීම ‘යහපත්’ බව (උත්පත්ති 1 : 4, 10, 13, 18, 21, 25 ) ස්වාමීන් වහන්සේ දුටු සේක. සය වැනි දවස අවසානයේ දී එය ‘ඉතා යහපත්’(උත්පත්ති 1 : 31 ) බව ස්වාමීන් වහන්සේ දුටු සේක.
තමා අවට පරිසරයේ මෙම යහපත් බව දැකීමට කවියා අපොහොසත්ය. ඒ වෙනුවට ඔහු පේරාදෙණි විශ්ව ව්ද්‍යාල පරිසරය දකින්නේ තුරුණු විය මරණයට බිලි වන බිමක් ලෙස හා හිස් ම හිස් වා ගැබක් ලෙස පමණි. කවියේ තෙවන පේළියේදි මෙම කවියෙහි විස්තර කෙරෙන සරසවි සිසුවාගේ ජීවිතය තුළ ඇති විසංවාදි (පරස්පර විරෝධි) බව පැහැදිළි‍ වේ. මරණයට හිමි කමක් වූ බිමක, හිස් ම හිස් වා ගැබ දෙස බලා සිටින ඔහු තුරුළු කර ගෙන සිටින්නේ ‘සිප්සතයි’.
තමා අවට පරිසරය විශ්ලේෂණය කිරීමට පෙළඹුණදා පටන් මිනිසා තම අධ්‍යයන ක්‍රියාකාරකම් ආරම්භ කරයි. මැවිල්ලේ කථාවේ දි එය විස්තර වන්නේ මෙලසින්ය. “ස්වාමි වූ දෙවියන්වහන්සේ වනයේ සියළු මෘගයන්ද ආකාශයේ සියළු පක්ෂීන්ද භූමියෙන් සාදා මනුෂ්‍යයා උන්ට මොන මොන නම් තබන්නේදැයි බලන පිණිස උන් ඔහු වෙතට පැමිණෙවූ සේක. මනුෂ්‍යයා සියළු ජීවමාන සත්වයන්ට තැබූ නම් උන්ගේ නාමයෝ වූහ. මනුෂ්‍යයා සියළු සිව්පාවුන්ටත් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ සියළු මෘගයන්ටත් නම් තැබීය” (උත්පත්ති 2:19, 20).
එම නිසා අධ්‍යාපනය යනු ව්ශ්වය විශ්ලේෂණයයි. යහපත් ශිෂ්‍යකු වීමට නම් ව්ශ්වය දකින්නත් එය අගය කිරීමටත් හැකියාව තිබිය යුතුයි. මරණයට හිමි කමක් වූ බිමක හිස් ම හිස් වා ගැබ හැර වෙන දෙයක් නොදකින අයකු, තුරුළු කර ගන්නා “සිප්සත” කි‍මෙක්ද යන්න මෙහි ඇති විසංවාදයයි. මේ වාතාවරණයට හේතුව මිනිසා ගේ වැටීම හෙවත් පාපය ලෙස අපට විස්තර කළ හැක. නමුත් මෙය සිසුවාගේ පුද්ගලික ජීවිතයට බැර කළ නොහැක. ඝාතනයට ලක් වූ තම සොයුරු සොයුරියන්ගේ ඉරණම මතකයට එන විට මෙවන් උකටලී තත්වයකට පත් වීම කෙසේ නම් අරුමයක් වන්නෙහිද? එය ඉතා සාමාන්‍යය දෙයකි. දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් මැවූ මනුෂ්‍යයකුගේ විනාශය දකින විට තවත් මනුෂ්‍යයකුගේ හදවතේ ඇති වන කම්පාව යහපත් දෙයකි. ලොව මුල්ම මිනී මැරුම ලෙස බයිබලයේ වාර්තා වන ආබෙල් ගේ මරණයෙන් පසු දෙවියන්වහන්සේ කායින්ගෙන් තම සහෝදරයා කොහේදැයි විමසයි. එවිට කායින් “මම නොදනිමි, මම මාගේ සහෝදරයාගේ රැකවලාදැයි’’ (උත්:4:9) පෙරළා ප්‍රශ්ණ කරන්නේ ඔහුගේ හදවතේ ආබෙල් ගේ මරණය ගැන එවන් කම්පාවක් නොවූ නිසාය.
මෙවන් කම්පාවක් ඇති වීම යහපත් දෙයක් වුවද එය ජය ගැනීමට හෝ නැවුම් ආරම්භයකට හෝ නිමිත්තක් නොමැති වීම තුළ කවියා මෙම තත්වය පරපුරෙන් පරපුරට උරුම දෙයක් බව ප්‍රකාශ කරයි. මෙය සර්වාශුභවාදි (සර්වා + අශුභවාදි) කියමනකි. අයුක්තිය, අසාධාරණත්වය, ප්‍රචණ්ඩත්වය ඉදිරියේ කිතුණු මනස කම්පාවට පත් වුවද කිතුණුවකුට සර්වාශුභවාදි විය නොහැක. මන්ද ‘මිනිසා පාපයට වැටීම’ යන ධර්මතාවය තුළ සිර නොවෙන කිතුණුවා ‘ගැලවීම’ හා ‘දෙවියන්වහන්සේගේ පූර්ණ ජයග්‍රහනය’ නම් විශිෂ්ඨ බලාපොරොත්තුව ඇතුව ජීවත් වන බැවිනි. එනම් මොන තරම් අයහපත් දේ අප අවට සිදු වුවද දේව රාජ්‍යයේ පූර්ණත්වය නම් සදාකාලික බලාපොරොත්තුව අපට ඇත. එබැවින් අප මෙම බිඳුණු ලොව තුල එම පූර්ණත්වය උදෙසා ක්‍රියා කළ යුතුය. දේව රාජ්‍යයේ වටිනාකම්, ප්‍රමුඛතාවයන් හා අගය කිරීම් මෙම බිඳුණු ලොව තුලට ගෙන ඒම කිතුණුවන් සතු වගකීමකි.
අපි නැවතත් මැවීමේ කථාවට අවධානය යොමු කරමු. දෙවියන්වහන්සේ මණුෂ්‍යයා ඒදන් උයනේ පදිංචි කළේ එම උයන වවන්ටත් රැක බලා ගැනීමටත්ය (උත්පත්ති 2:15). අප ජීවත් වන රට, ගම හෝ නගරය දෙවියන්වහන්සේ අපට අද දී ඇති ඒදන් උයන් සේ සැළකිය හැකිය. එවා විනාශ වීමට ඉඩ නොදී රැක බලා ගැනීම හා සංවර්ධනය කිරීම දෙවියන්වහන්සේ අපට දී ඇත්තා වූ වගකීමකි. මැවිල්ලේ හිමිකරු දෙවියන්වහන්සේය. අප යහපත් ගබඩා කරුවන් ලෙස මැවිල්ල රැක බලා ගැනීමටත් පෝෂණය කිරීමටත් වග බලා ගත යුතුය. (ආත්මාර්ථකාමි පාරිභෝජනයකට හෝ පරිසර දූෂණයට අපව කිසිසේත් දිරිමත් කරන්නේ නැති වුවද මැවීම් කථාව සම්බන්ධයෙන් ඊට සපුරා පටහැනි මතයක් සිංහල පාඨකයන් අතර පතුරුවාලීමට ‘ජාතික චින්තනය’ වැනි කණ්ඩායමි දශක දෙකකට වැඩිකාලයක් පුරා දරන්නේ මහත් වෙහෙසකි.) අධ්‍යයන ආයතනයක ඉගෙන ගන්නා කිතුනු සිසුන්ද තමා ඉගෙන ගන්නා ආයතනය හා එම භූමිය කෙරෙහි තිබිය යුත්තේද එවන් යහපත් ගබඩා කරුවකුගේ ආකල්පයන්ය. නමුත් කවියා දක්වන පරිදි සර්වාශුභවාදි විශ්ව විද්‍යාල සිසුවකුගෙන් එවැනි ප්‍රතිචාරයක් අපට බලාපොරොත්තු විය හැකිද? යොවුන් විය මරණයට කැප වූ බිම තුළ හිස්ම හිස් වා ගැබ පමණක් දකින්නකුට රැක බලා සංවර්ධනය කිරීමට යමක් නැත.
නමුත් ඉහත තත්වයට පටහැනිව ශුභවාදී ලෙස ක්‍රියා කරන සිසු සිසුවියන් අපට විශ්ව විද්‍යාල තුළ දක්නට ඇත. සමහර විට ඔවුන් සංවිධාන ගත වී ක්‍රියා කරන අයුරුද දැක ගත හැක. උදාහරණයක් ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ “හන්තාන සංරක්ෂණ සංගමය” හැඳින්විය හැක. ඔව්හු විශ්ව විද්‍යාලය තුල සිදුවන පරිසර දූෂණය ගැන විමසිලිමත් වෙති. විශ්ව විද්‍යාල‍යේ සමස්ත ජල හා විදුලි වියදම ගැන දත්ත ඉදිරිපත් කරමින් සිදුවන ජල හා විදුලිය නාස්තිය ගැන විශ්ව විද්‍යාල ප්‍රජාව දැනුවත් කිරීමට වෙහෙසෙති. විශ්ව විද්‍යාල පරිසරයට දෛනිකව එක් වන පොලිතීන් ප්‍රමාණය අවම කිරීමට කටයුතු කරයි. හන්තාන කඳු පන්තියේ ජෛව විවිධත්වය කථා කරති. නමුත් මෙවන් කාරණා වලදී කිතුණු වන්ගේ දායකත්වයක් නොමැති තරම්ය. බෙහෝ විට ඒවායේ නායකත්වය ගෙන කටයුතු කරන්නේ කිතුණු නොවන විශ්ව විද්‍යාලීය ප්‍රජාවය. කිතුණුවන්ගෙන් ඉටු විය යුතු දේ ඔවුන් ඉටු නොකරන කල දෙවියන්වහන්සේ අන්‍යයන් එම කාරණා සඳහා යොදා ගන්නා බවට මෙය කදිම උදාහරණයකි. බලාපොරොත්තුවක් නැති තැනක සදාකාලික බලාපොරොත්තුවේ උරුමක්කාරයන් ලෙස ජීවත් වීම කිතුණු අපට ඇති නිරන්තර අභියෝගයකි.
‘පටු අදහස් නම් ගීතය ඉහත නිසදැසට වඩා සම්පූර්ණයෙන් වෙනස් ආකල්පයක් අප ඉදිරියේ තබයි. කිතුණු නොවූ අයගේ දායකත්වයෙන් බිහි වුව ද ගීතයෙහි ඇති වචන (ස්වර්ග රාජ්‍යය. පියාණෙනි) හා එහි සමස්ත අදහසට ඉතා පහසුවෙන් ක්‍රිස්තියානි අර්ථකතන අපට සොයා ගත හැක. ඉහත නිසදැසහි පරපුරෙන් පරපුරට වෙනස් නොවන සර්වාශුභවාදි දැක්මක් ඉදිරිපත් කරද්දී තාගෝර් සිය රට වෙනුවෙන් ශුභවාදි අනාගත පැතුම් යදියි. වර්තමානය පොදි බැඳගෙන අනාගතය දකිනවා වෙනුවට වර්තමානයේ ඇති අඩුලුහුඬුකම් හා නිවැරදි විය යුතු තැන් වලට ඔහු සංවේදි වෙයි.
මිනිසා ගේ පාපය නිසා දෙවියන්වහන්සේ සහ මිනිසා අතරත්, මිනිසා සහ මිනිසා අතරත්, මිනිසා සහ සෙසු මැවිල්ල අතරත් තිබූ යහපත් සම්බන්දතා බිඳ වැටුණි. එම බිඳ වැටුන සමබන්ධතා හේතුවෙන් ඇති වූ විපාක රාශියකි. ගීතයෙන් ඉදිරිපත් කෙරෙන අඩුලුහුඬුකම් හා නිවැරදි විය යුතු තැන් එම බිඳ වැටුන සම්බන්දතා හේතුවෙන් ඇති වූ විපාක නිසා බව තේරැම් ගැනීමට අපහසු නැත. පටු අදහස් නිසා බේද භින්න වූ ලෝකයත්, බිය හා සත්‍ය පිරිසිදු වචන නොමැති වීමත් මෙම බිඳුණු සමිබන්ධතා වල සෘජු ප්‍රතිඵලයන්ය. ඥාණය අද නිවහල් නොවී තේරුම් ගත නොහැකි අවුල් තත්වයක පවතින්නේද මැවුම්කාර දෙවිඳුන් නොසළකන හා මනුෂ්‍යත්වය කෙළසන ගතානුගතික සිරිත් අප අතර ව්‍යවහාරයේ පවතින්නේද මේ හේතුවෙනි. මේ තත්වයෙන් මිදී සදා දියුණුවන සිතිවිලි වෙනුවෙන් හා පරිපූර්ණත්වය වෙනුවෙන් නොපසුබට උත්සාහයක යෙදීමට ඉදිරියේදි තම සිත යොමුකර ඇත්තේ කොහේදැයි යන්න මෙහිදී විමසා බලයි. එවන් නිදහසක ස්වර්ග රාජ්‍යයට තම දේශය ඔසවා තබන ලෙස කරන යැදුම මෙම ගීතයේ සමස්ත අර්ථයයි. නිර්මාණකරුවන් කිතුනුවන් නොවූවද මෙම ගීතයෙන් ඉදිරිපත් කෙරෙන යහපත් දේ දේව රාජ්‍යයේ වටිනාකම්, ප්‍රමුඛතාවයන් හා අගය කිරීම් සමඟ ඝට්ටනයක් දැකිය නොහැක.
මෙම ගීතය අපේ රට වෙනුවෙන් පුද කරන මැදහත් යාච්ඤාවක් සේ ගායනා කරන කිතුණුවන් අප අතර ඇත. නමුත් යම් යම් ගැටළු කාරි තත්වයන් නිසා එසේ යාච්ඤාවක් ලෙස ගායනා කළ නොහැකි බව සමහරකගේ අදහසයි. මෙහිදී තාගෝර් හා මහගමසේකර ‘පියාණනේ’ ලෙස ආමන්ත්‍රණය කරන්නේ යොහොවඃ දෙවියන්වහන්සේට නොවන නිසා මෙය යාච්ඤාවක් ලෙස භාවිතා කිරීමට සමහරුන් මැළිය. ගීතය තුළ අරුත් ගැන්වෙන ස්වර්ග රාජ්‍යයට වඩා ගැඹුරු අරුතක් බයිබලයේ එළිදරව් කෙරෙන දේව රාජ්‍යයට ඇති බව සැබෑය. ස්වර්ග රාජ්‍යයේ රජතුමන් ගැන (කිතුණු විශ්වාසයට අනුව ක්‍රිස්තුස්වහන්සේ) ගීතය සම්පූර්ණයෙන්ම නිහඬය. සමකාලින ඉන්දියානු නායකයන් වන මහත්මා ගාන්ධි මෙන් තාගෝර්ද දෙවියන්වහන්සේගේ පැවැත්ම ප්‍රතික්ෂේප කළ අයෙකු විය නොහැක. නමුත් ඔහු ක්‍රිස්තුස්වහන්සේගේ විශිෂ්ඨත්වය හඳුනාගෙන එතුමාගේ ස්වාමිත්වයට තම ජීවිතය භාර කළ අයෙකු නොවන බවද පැහැදිලිය. සියළු ආගම් අදහන්නවුන් තුළ තිබූ විවිධ පුහු වත් පිළිවෙත් දැඩි ලෙස විවේචනය කළ බව ඔහුගේ අනිකුත් කෘතීන් පරිශීලනයේදි අපට හඳුනා ගත හැක. එදා මෙන් අදත් ඉතා ජනප්‍රිය මතයක් වන කිතුණුවන් වඩා හොඳ කිතුණුවන් බවටත් හින්දූන් වඩා හොඳ හින්දූන් බවටත් මුස්ලිම්වරුන් වඩා හොඳ මුස්ලිම්වරුන් බවටත් බොදුනුවන් වඩා හොඳ බොදුනුවන් බවටත් පරිවර්ථනය කිරීමට හා අන්තර් ආගමික සහජීවනය උදෙසාත් අන්තර් ආගමික සංවාද පැවැත් විය යුතු බවට ඔහු විශ්වාස කළා විය හැක. නමුත් මේ සියළු ඌනතාවයන් ගැන අවබෝධයක් ඇතිව කිතුණු අරුතක් සහිතව මෙම ගීතය ගායනා කිරීම අපහසු කාරණයක් නොවෙති.
පසළොස් වසරක් පුරා ‘වූස්’ කැන්ටීමේ පෝස්ටරය සිසුන් දහස් ගණනක් ඇතුළු බොහෝ දෙනා කියවන්න ඇත. ඒ තුළින් ඇඟවෙන ලෝක දෘෂ්ඨිය හදවත් තුළ නිදන් ගත වී ජීවිත වලට මහත් බලපෑමක් වූවා විය හැක. “පටු අදහස්” නම් ගීතයද සිංහල ගීත ගොන්නට එක් වූ විශිෂ්ඨ නිර්මාණයකි. නිදහස් දින වලද බොහෝ විට රාජ්‍යය නායකයකු ජාතිය ඇමතීමෙන් අනතුරුවද වාදනය වන මේ ගීතය අසන්නාගේ හදවත් ගැඹුරෙන් ආමන්ත්‍රණය කිරීමට සමත්ය. ඉන්දීය ගුවන් විදුලියට සවන් දෙන යාපනයේ සොහොයුරකු මට පැවසූයේ ඔවුන් තම දෛනික වැඩසටහන් අවසන් කිරීමේදි දිනපතා මෙම කාව්‍යය ප්‍රචාරය කරන බවය. භාෂාවන් ඉතා අලංකාරය. ඒවා සතු වචන ඉතා ප්‍රබලය. භාෂාවන් සතු මෙම තේජස දේව රාජ්‍යය තුළද අපට දැක ගත හැකි වනු ඇත (එළිදරව් 21 : 24, 26).
තාගෝර් ගේ “ගීතාංජලී” කවි පොත එහි මුල් බස වූ වංග බසින්ම දේව රාජ්‍යයයේදි අපට රස විඳිය හැකි වනවා ඇත. මනාව භාෂාවක් හැසිරිය හැකිනම් කළහැකි දේ බොහෝය. දේව රාජ්‍ය තුළද අපට අත්දැකිය හැකි අපගේ භාෂාවන් සතු එම අලංකාර තේජශ්‍රීය හරිහැටි හැසිරිවිය හැක්කේ කීයෙන් කී දෙනාටද? අපගේ ස්ව භාෂාවන් සම්බන්ධයෙන් කිතුණුවන් ලෙස අපගේ උනන්දුව ඉතා අල්පය. ඉංග්‍රීසි භාෂාව විෂයක් ලෙස ඉගෙන ගන්නා හෝ ඉගෙනගත් බොහෝ කිතුණුවන් අප අතර ඇත. දමිළ බස හදාරණ හෝ හැදෑරූ කිතුණුවන්ද ඉඳහිට දැක ඇත. නමුත් සිංහළ භාෂාව හදාරණ හෝ හැදෑරූ කිතුණුවන් ඉතා විරලය. සමාජ බලපෑමත්, ආර්ථික ප්‍රතිලාභ අත්නොවීමත්, රැකියා වෙළඳ පොළෙහි ඉල්ලුමක් නොමැති වීමත් මේ තත්වයට හේතු වූවා විය හැක. නමුත් සියළු ජාතින් ගේ තේජස හා ගෞරවය දේව රාජ්‍යය වෙත ඔවුන් ගේ රජවරුන් ගෙන යන බව අප අමතක නොකළ යුතුය.
ජාතින් සතු මෙම තේජස හා ගෞරවය විවිධ ක්ෂෙත්‍රයන් (භාෂාව පමණක් නොව) තුළ දේව රාජ්‍යය තුළ ප්‍රකාශ වනවා ඇත. එසේ නම් අප අපගේ තලෙන්ත හඳුනා ගෙන අපේ වගකීම ඉටු කළ යුතුය.

මවකගේ විලාපය


1 comment:

Progress said...

1989 කාලය ගැන යම් මතකයක් අවදිවීම සතුටක්.එය පැරණි වන්නේ නැත.

විශ්වවිද්‍යාලය. . .